වර්ෂ 1922-05-02 දින ඇරඹි සියවසකට ඉතා ආසන්න කාලයක් පුරා විවිධ පරිවර්තනයන්ට මුහුණ දෙමින් පැවති බප/ මිනු/ පෙතියාගොඩ බෞද්ධ කනිෂ්ඨ විද්‍යාලය සියනෑ පුරවරයේ පැරණි පාසලක් ලෙස ප්‍රකටව පවතී.
මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපයට අයත්ව බස්නාහිර පළාතේ සියනෑ කෝරලයේ දාසිය පත්තුවේ පෙතියාගොඩ දකුණ ග්‍රාම නිලධාරි කොට්ඨාසයෙහි පිහිටි මෙම විදුහල ඉතා ප්‍රෞඪ ඉතිහාසයකට උරුමකම් කියන්නෙකි.
ආරම්භක ශිෂ්‍ය සංඛ්‍යාව හත් දෙනෙකු වශයෙන් සඳහන් වුවද සිසුන් සත්සීයයක් පමණ ඉගෙනුම ලැබූ යුගයන් පිළිබඳව ද සටහන් වන මෙම විදුහල ආරම්භයේදී පාලනය වී ඇත්තේ කොරස රණසිංහ පදනම මගිනි. ක්‍රි.ව. 1956 දී පමණ පාසල රජයට පවරා ගන්නා ලදුව එතෙක් මෙතෙක් කාලය පුරා රජයේ පාසලක් ලෙස පෙතියාගොඩ බෞද්ධ කනිෂ්ඨ විද්‍යාලයය නමින් ප්‍රදේශයේ ප්‍රචලිතව පවතී.
පසු කාලීනව ස්ථාපිත වූ අවට පාසල් සංඛ්‍යාවේ වර්ධනයත් දියුණූවත් සමඟ අභියෝගාත්මක ලෙස ශිෂ්‍ය සංඛ්‍යාව අඩු වැඩි වෙමින් පැවතිය ද අ.පො.ස. සාමාන්‍ය පෙළ දක්වා මෙම පාසලෙහි අධ්‍යාපනය හදාරා උසස් අධ්‍යාපනයට යොමුව රටට සේවය කරන්නාවූ ආදී ශිෂ්‍ය ශීෂ්‍යාවන් සමූහයක් බිහි කිරීමට ද පෙතියාගොඩ බොදු පාසල් මාතාව වාසනාව ලැබුවාය.
එදා මෙදා තුර ගෙවුණූ දීර්ඝ කාලයේදී පාසල් නියමුවන් ලෙස විදුහල්පති මහත්ම මහත්මීන් විසි එක් දෙනෙකුගේ කළමනාකරණ හස්තයෙහි පහස ලැබූ පෙතියාගොඩ බොදු විදුහල් පියසෙහි වර්තමානයේ අකුරු කරන මානවක මානවිකාවන් සංඛ්‍යාව එකසිය හැට පහක් වන අතර ගුරු භවතුන් 14 දෙනෙකුගෙන් සමන්විත ගුරු මඩුල්ල විසින් ඔවුන්ට අකුරු කරවනු ලබයි.
විවිධාකාර වූ ඉගෙනුම් අත්දැකීම් ලබමින් යහ පැවතුම් හා ආකල්ප සංවර්ධනය කර ගනිමින් විනය ගරුක හා දැනුවත් මෙන්ම නව චින්තනයන්ට නිර්මාණශීලි ලෙස ප්‍රතිචාර දැක්වීමේ හැකියාවෙන් යුතු දරු පරපුරක් බිහි කිරීමේ වර්තමාන පරමාර්ථය හද දරා ගත් පෙතියාගොඩ බොදු විදුහල් මාතාව සිය වසක දිගු ගමනක පියවර සටහන් මැදින් නව ගමනක් නව නායකත්වයක් යටතේ නව ජවයකින් යුතුව 2020 වර්ෂයේ සිට ආරම්භ කළාය.






